අයිරාංගනී සේරසිංහ ගෞරව සම්මානිත බුහුමන

“අයිරාංගනී සේරසිංහ ගෞරව සම්මානිත බුහුමන”
 
ලාංකීය කලා ඉතිහාසයේ කොළඹ විශ්වවිද්‍යාලය හරහා බිහි වූ විශිෂ්ට රංග වේදිනියක් ලෙස මෙන්ම රංගනය විෂයක් ලෙස හැදෑරූ මුල්ම ශිල්පිනියක වන අයිරාංගනී සේරසිංහ ඇගයීමේ “අයිරාංගනී සේරසිංහ ගෞරව සම්මානිත බුහුමන” පිටකෝට්ටේ එපිටමුල්ල පාරේ ඇගේ නිවහනෙහිදී ජනවාරි 28 වන දින උත්සවශ්‍රීයෙන් පැවැත්විණ. ඒ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එචි. ඩී කරුණාරත්න, කොළඹ විශ්වවිද්‍යාල කලා මණ්ඩලයේ සභාපති ආචාර්ය කපිල බණ්ඩාර, ශිෂ්‍ය අනුශාසක ආචාර්ය රජිත සිල්වා, කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ සභාපති බර්නාඩ් කාරියවසම්, ප්‍රවීණ රංග ශිල්පී ලක්ෂ්මන් මෙන්ඩිස්, සේරසිංහ මහත්මියගේ පුත් රංජිත් සේරසිංහ ඇතුළු කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ විධායක සභිකයින් රැසක් සහභාගි විය. වේදිකාවත් සිනමාවත් රිදී තිරයත් සිය රංගනයෙන් ඔපවත් කළ ඈ කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථියෙකු ලෙස අභිමානවත්ව ඇගයීමට පත් කිරීම හා ඇය රංගනයේ නියුතු සංදේශය චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම මෙම ව්‍යාපෘතියේ තවත් අරමුණකි. කලාකරුවෙකු ජීවත්ව සිටින කාලයේ ඉටු කරන ලද සේවාවන් ඇගයීම කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අභිප්‍රාය විය.
 
ඇගේ බුහුමන සඳහා රචිත හේතු පාඨය මෙසේය.
 
“කොළඹ විශ්වවිද්‍යාලයේ ජෝර්ජ් රාජශාලා පරිශ්‍රයේ විශ්වවිද්‍යාලයීය නාට්‍ය වංශයක ලුඩෝවයික් හා ජුබාල් ආදී ශාස්ත්‍රඥයන් ඇසුරෙහි රංග නිෂ්පාදනයන්හි පන්නරයෙන් ඉක්බිති ලන්ඩනයේ බ්‍රිස්ටල් ඕල්ඩිවික් රංග කලා ඇකඩමියක විද්‍යාත්මක ඥාන මීමංසාවකින් රංගවේද ගවේෂණ දැනුමෙන් සන්නද්ධව මෙරට රඟ නළුව, තිර නළුව, හඬ නළුව, ටෙලි නළුව ආදී සතර මානයන්හි පුළුල් වපසරියක නානාප්‍රකාර වූ භූමිකාවන්හි සමාරෝප වෙමින්, එකී චරිත පෞරුෂ හා ආත්මයන්හි ආංගික, සාත්වික හා වාචික අංශුමාත්‍රික ගැඹුර සියුම්වූත්, සංවේදීවූත්, ප්‍රබලවූත්, ස්වභාවිකවූත් තත්ත්වාකාරයෙන් ජන සංහතියට පරාවර්තිත අපූර්ව හා විරල රංගන ප්‍රතිභා කෞශල්‍යය අගයනුවස් කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය අයිරාංගනී සේරසිංහ ජ්‍යෙෂ්ඨ රංග කලා වේදිනිය ගෞරව සම්මානිත බුහුමනට පාත්‍ර කරන වගයි.”



 

Leave a comment